සුනාමියට අදට වසර 15යි

Share

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 15කි.

 

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි.

සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම සදහා 2005 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසනය නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් දිවයින පුරා විවිධ වැඩසටහන් පැවැත්වෙයි.

මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන උත්සවය ගාල්ල, තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්විමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.

සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය පිරිස සිහිපත් කිරිම සදහා අද දිනයේ පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විමට කටයුතු යොදා ඇත.

මේ අතර පැරෑලියේදී අනතුරට ලක්වූ දුම්රිය එංජිම සහිත විශේෂ දුම්රිය අද දිනයේ ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී නතර කර  එම ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

Read more

Local News