අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව රෝහල්ගත වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
ඉකුත් ජනාධිපතිවරණයේ පැවතුණු ආන්දෝලාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළ නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලීසියෙන් විමසා සිටියේ එම සිද්ධියේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින රාජිත සේනාරත්න මහතා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ රාජිත සේනාරත්න මහතා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.
අත්අඩංගුවට ගැනීම සඳහා ඉකුත් 24 වන දා අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා සැඟවී සිට ඊයේ (26) රාත්‍රී 7.30 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී ඇති බවත් ඔහු අධික රුධිර පීඩනයෙන් හා ආතතියෙන් පෙළෙන බැවින් ඔවුහු ආසන්නයට යාම නුසුදුසු බවට එම රෝහලේ වෛද්‍යවරු විසින් රහස් පොලීසියට දැනුම්දී ඇති බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණය සඳහන් කළේ රහස් පොලිසිය විසින් ඉදිරිපත් කර තිබෙන පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවයි.



