නව රජය නවෝත්පාදන සඳහා සෑමවිටම දිරි දෙන බව විමල් කියයි

Share

නවෝත්පාදන සඳහා සෑමවිටම දිරි දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නව රජය කැප වී සිටින බවත්, ඒ සඳහා දැනුම, හැකියාව ඇති තරුණ තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, විමල් වීරවංශ මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලූම් ආයතනය විසින් සංවිධානය කළ කෙසෙල් කෙන්දෙන් නිෂ්පාදනය කෙරෙන රෙදිපිළි හා ඇඟලූම් එළිදැක්වීමේ සහ ළමා ඇඳුම් සඳහා සෞඛ්‍යාරක්ෂිතතා සහතිකයක් නිකුත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“කෙසෙල් තන්තුවෙන් නිපදවූ රෙදිපිළි හා ඇඟලූ‍ම් එළිදැක්වීමේ අවස්ථාව, මෙම අමාත්‍යාංශයේ වැඩ භාරගත් ගත් පසු මා සහභාගී වන වැදගත්ම අවස්ථාව ලෙස මා සලකනවා.

අපි මහත් උජාරුවෙන් කියනවා, විජය කුමාරයා ලංකාවට පැමිණෙන විට කුවේණි කපු කටිමින් හිටියා. අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයට ඊටත් එහා ඉතිහාසයක් තිබෙනවා කියා. එහෙම ඉතිහාසයක් තිබුණාට ඊට ගැන ගැලපෙන වර්තමානයක් අද අපට නැහැ.

ඊට හේතු වූයේ අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙන ආකාරයට විවෘත ආර්ථීක සුළඟ හැමීම. ලෝකයේ ප්‍රබල රටවල් තමන්ගේ රටේ කර්මාන්ත බිඳ වැටෙන ආකාරයට වෙළෙඳපොළ විවෘත කිරීම සිදු කළේ නැහැ.

නමුත් අපි අපේ දොරටු විවෘත කළේ ආරක්ෂණ වැඩපිළිවෙළක් නොමැතිව, අපේ කර්මාන්ත හා නිෂ්පාදන බිඳ වැටෙන ආකාරයට.

ඒ අවාසනාවන්ත ඉරණමට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය මුහුණ දුන් බව අපි දන්නවා. එවැනි තත්වයකට අපේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය ඇද වැටී තිබියදී තමයි, කෙසෙල් තන්තු යොදා ගෙන මෙරටදී රෙදිපිළි නිෂ්පාදනය කිරීම ඇරඹෙන බවට සුබ ආරංචියක් ලැබෙන්නේ.

අද කාබනික පොහොර යොදාගෙන වගා කෙරෙන ආහාර වර්ගවලට ලෝකයේ විශාල ඉල්ලූමක් ඇති වෙමින් තිබෙනවා. එසේම කාබනික ද්‍රව්‍ය යොදාගෙන නිපදවන ඇඳුම් පැළඳම් සඳහා ද ලෝක ප්‍රජාවගේ උනන්දුවක් ඇති වී තිබෙනවා.

කපු පුළුන් ආශ්‍රිතව නිපදවෙන රෙදිපිළි සඳහා ඉල්ලූම වැඩි වෙමින් තිබියදී තමයි අපට අපේ රටෙන් ඇසෙන්නේ කෙසෙල් තන්තුවෙන් ද රෙදිපිළි නිපදවිය හැකියි කියා.

එවැනි නිපැයුමක උරුමය අප රටට හිමිවීම ඉමහත් සතුටට කාරණයක්. මෙම රෙදිපිළි නිෂ්පාදන, ලෝකය පුරා ඒ පිළිබඳ ඉල්ලූමක් ඇති රටවලට රැගෙන යාම අපේ ඉලක්කය විය යුතුයි. මේ නව නිපැයුම හඳුන්වා දීමට කැප වුණු ශ්‍රී ලංකා පේෂකර්මාන්ත හා ඇඟලූම් ආයතනයේ ප්‍රධානීන් හා මොරටුව විශ්වවිද්‍යාලයේ වියතුන්ටත් මාගේ ප්‍රණාමය පුදකර සිටිනවා.

කාබනික මූලාශ්‍ර සහිත රෙදිපිළි කර්මාන්තය දැනටමත් ලෝකයේ කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපදවන ඇඳුම් ප්‍රමාණය ලොව නිපදවන සමස්ත ඇඳුම් ප්‍රමාණයෙන් 1%ක වෙළඳපොළක් අත්කර ගෙන තිඛෙනවා.

2017 වසර තුළ එම කාබනික මූලාශ්‍ර යොදාගෙන නිපද වූ ඇඳුම් සඳහා තිබෙන ඉල්ලූම 10%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඉතා පැහැදිලියි, ලෝකයේ අනාගත පාරිභෝගිකයා කාබනික පදනමක් සහිත ආහාර මෙන්ම ඇඳුම් පැළඳුම්වලට ද නැඹුරු වන බව.  ඒ නිසා අපි මෙම කෙසෙල් තන්තු රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදන සමාජගත කිරීම සඳහා අමාත්‍යාංශය ලෙස කළ හැකි සියල්ල කිරීමට සූදානම්. ”

Read more

Local News