රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්රන් මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුවන්ට සිර දඬුවමට අමතරව රුපියල් විසි දහස බැගින් දඩ නියම කළේය.
2009 වසරේ අරලගංවිල පොලිසියේ සේවය කළ අවස්ථාවේදී නීති විරෝධී ලෙස ගෝන මස් ළඟ තබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා විත්තිකරුවන් රුපියල් 10,000 ක මුදලක් ඉල්ලා තිබේ.
එම මුදල අල්ලස් වශයෙන් ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර පසුව එම කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුට දඩුවම් නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් විය.



