ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව පෙබරවාරි 06 දා කැඳවයි

Share

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි පෙබරවාරි මස 06 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කර ඇත.

 

මෙම නඩුව අද (20) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබුවේය.

එහිදී එම නඩුවට අදාළ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් විත්තියේ නීතිඥවරුන් වෙත භාර දීම සිදු කෙරුණි.

එමෙන්ම මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන ඇතැම් ලේඛන පරිගණක වලින් උත්පාදනය කරන ලද ලේඛන බැවින් ඒවා උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා ද අධිකරණය විසින් විත්තියේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන ලදී.

අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 6 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්. ඩී. උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබේ.

2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමඟ එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන්  නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

Read more

Local News