ජාතික මට්ටමේ සිටින සියලු ම ක්‍රීඩකයන් සඳහා ස්ථිර රැකියාවක් – අමාත්‍ය දයාසිරි ජයසේකර

මෙරට ක්‍රීඩාව නැංවිම සඳහා ගනු ලබන ඉදිරි පියවර හා ප්‍රගතිය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (4) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අතර එහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, ජාතික මට්ටමේ සිටින සියලු ම ක්‍රීඩකයන් සඳහා රාජ්‍ය ආයතනවල හෝ පෞද්ගලික ආයතනවල ස්ථිර රැකියාවක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.

ජාතික මට්ටමේ සිටින ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් විවිධ ආර්ථික අපහසුතා මැද  ක්‍රීඩාවේ නිරත වන බැවින් ඒ සඳහා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ද ලැබි තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා ස්ථිර රැකියාවක් සමඟ ඔවුන්ගේ අනාගතය ආරක්ෂා වන බව පෙන්වා දුන්නේය.

ඊට අමතරව ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ අතරින් ”ජාතික ක්‍රීඩා උළෙල” මේ වසරේ සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අන්තර් ග්‍රාම සේවා නිළධාරි වසම් තරගාවලයකින් ආරම්භ කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රීඩා පිටි 100ක් සංවර්ධනය කෙරෙන අතර  දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ හම්බන්තොට හා මොණරාගල ඉදිකෙරේ. එමෙන්ම ගෘහස්ථ ක්‍රීඩාගාර බණ්ඩාරවෙල, කල්මුනේ දිස්ත්‍රික්කවලත් ස්ථාපිත කෙරේ.

ඊට අමතරව නුවරඑළිය ඉහළ උන්නතාංශ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකෙරෙන අතර බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි විනෝද ක්‍රීඩා නගරයේ අදාළ ඉදිරිකිරීම් කටයුතු ආරම්භ කෙරේ. එමෙන්ම මේ වසරේ රත්නපුර, මාතලේ හා  හෝමාගම දිස්ත්‍රික්කවල කෘතීම ධාවන පථ යෙදීමට කටයුතු කෙරේ.

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඇකඩමියක් පිහිටවනු අතර ක්‍රීඩා විද්‍යාතනය, දියගම ක්‍රීඩා සංකීර්ණය හා නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු සංකීර්ණය ඒකාබද්ධව හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල හා සම්බන්ධ ක්‍රීඩා උපාධිය ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලය හා සම්බන්ධව ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කෙරේ.

උත්තේජන මර්ධන නියෝජ්‍ය ආයතනය තවදුරටත් පුළුල් කර විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම මෙන්ම කුසලතා හඳුනා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර ජාතික ක්‍රීඩා සංගම් සංවර්ධනය කිරීම සහ ක්‍රීඩා සංචාරක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.

ක්‍රීඩා පනත වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධන කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා කෞතුකාගාරය විවෘත කිරීමට කටයුතු කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ජයන්ත විජේරත්න, ක්‍රීඩා අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් සමන් බන්ඩාර, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, තහනම් හා උත්තේජන මර්ධන නිවාරණ ඒකකයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වුහ.

Exit mobile version