සමථ මණ්ඩලයේ සාමාජිකයින් සඳහා ආගමික නායකයින්

Share

සමථ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී ගමේ ආගමික නායකයින් ඒ සඳහා සාමාජිකයින් වශයෙන් පත් කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

එමෙන්ම සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් කියා සිටියේ අද (07) වැලිමඩ සමථ මුල මණ්ඩල සාමාජිකයින් අමතමින්.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“සමථ මණ්ඩල වලින් බලාපොරොත්තු වෙන්නේ උසාවියකින් වන සේවය නොවෙයි. සමථ මණ්ඩල වලින් සිදු කළ යුතු වන්නේ නඩුවේ සමස්ත හරය ගෙන දෙපාර්ශ්වය සමථයකට පත් කිරීමයි.

අධිකරණයේ විනිශ්චයකාරතුමා හා සමථ මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු සාමාජිකයින් වන ඔබගේ භූමිකාව අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. නඩුව අධිකරණයට යාමට නොදී සමථ මණ්ඩලය තුළම විසදීමට සමථ මණ්ඩල සාමාජිකයින් වන ඔබ සෑම අවස්ථාවකම කටයුතු කළ යුතුයි.

සමථ මුල මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදි සෑම අවස්ථාවකම ගමේ ප්‍රදේශයේ ගෞරවයට පත්වුනු අය පත් කළ යුතුයි. සමාජ විරෝධි වැඩ සිදු කරන ගමේ සමාජය තුළ ගෞරවයට පත් නොවුනු අය පත් නොකළ යුතුයි.

අපේ විහාරස්ථාන වල කෝවිල්වල පල්ලිවල සිටින ආගමික නායකයින් අනිවාර්යයෙන්ම සමථ මණ්ඩල සදහා සාමාජිකයින් පත් කිරීමේදී පත් කළ යුතු වෙනවා ඒ වගේම සමාජ සේවා සංවිධානවල කටයුතු කරන අය විශ්‍රාම ලැබු විදුහල්පතිවරුන් ගුරුවරුන් වැනි අයත් සමථ මණ්ඩල වල සාමාජිකයින් බවට පත් කළ යුතුයි.

ඉදිරියේදී සමථ මුල මණ්ඩලවල බලය තවදුරටත් වැඩි කිරීම සදහා අපි කටයුතු කරනවා. ඒ පිළිබදව සොයා බැලීම සදහා මේ වන විටත් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවත් එහි නිර්ණායක ලැබුනු පසු ඒ අනුව අවශ්‍ය  ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

සමථ මණ්ඩල වල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 දක්වා වැඩි කළ යුතුයි. අද අධිකරණවල විශාල තදබදයක් තිබෙනවා.

සමථ මණ්ඩලවල බලය තවදුරටත් වර්ධනය කළ පසු ඒ තදබදය අඩු වෙයි. සමථ මණ්ඩල සේවය ස්වේච්ඡාවෙන් කරනු ලබන සේවයක් බවත් ඒ තුළින් මානසික තෘප්තියක් ලබා ගත හැකි බවත් අවබෝධ කර ගත යුතුයි.

එහෙම කටයුතු කරන අය රාජ්‍ය සේවය තුළ නම් අඩුයි. රැකියාවක් ලෙස රාජ්‍ය සේවය කරනවා මිසක් අද බොහෝ අය සේවයක් කියලා හිතලා රජයේ සේවය කරන්නේ නැහැ.

මේ ආකල්පය වෙනස් කළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

අපි සමථ මණ්ඩලවල ඔබ සදහා පහසුකම් ලබා දිය යුතුයි. නමුත් රජයේ ආදායම් ප්‍රමාණය රජයේ සේවක වැටුප් විශ්‍රාම වැටුප් ගෙවිමටවත් ප්‍රමාණවත් නැහැ.

ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් කර අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.

අපි සමථ මණ්ඩලවල කටයුතු කරන ඔබ දිරිමත් කළ යුතුයි. ඒ සදහා මේ වර්ෂය තුළ සමථ මණ්ඩල අතර කාර්ය අගය කරමින් තරඟයක් පැවැත්වීමටත් එහිදී කාර්යක්ෂම සමථ මණ්ඩලය තේරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය නිර්ණායක අනුව සිදු කරනවා.”

Read more

Local News