විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුතු නව සන්ධානගත ගිවිසුමට අත්සන් කරයි

Share

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ, සන්ධානගත පක්ෂ අද (09) යාපනය පෞද්ගලික හෝටලයක දී සන්ධානගත ගිවිසුමට අත්සන් කර ඇත.

 

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය නායකත්වය දරන ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්.ශ්‍රී කාන්ත මහතා නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කර ඇත.

දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට අදාළ පක්ෂ නව ගිවිසුම මඟින් ගිවිසුම් ගතවිණ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පැවසුවේ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නව සන්ධානය එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් තරඟ කිරීමට නියමිත බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය හරහා විසඳුම් නොලැබෙන බැවින් දෙමළ ජනතාවගේ ගැටළු විසදීම අරමුණු කර ගනිමින් නව සන්ධානය කටයුතු කරන බවද විග්නේශ්වරන් මහතා සඳහන් කළේය.

පුළුල් දැක්මක් සහිතව නව සන්ධානය එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට නියමිත අතර, තෛපොංගල් මුට්ටිය සළකුණ යටතේ අදාළ සන්ධානය මැතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News