හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් හෙට (20) දින අධිකරණයේ කරුණු දක්වන්නැයි දන්වා වැඩබලන පොලිස්පතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේය.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරුවරු දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ගෙන් විමසා සිටියේ පෙත්සම තමන් ඉදිරියේ විභාගයට ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් තිබේද යන්න පිළිබඳව.
ඊට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙන්ම රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු අධිකරණ දන්වා සිටියේ මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි.
ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී එහි පළමුවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පති වරයා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ඉදිරිපත් වී තිබුණේ නැහැ.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ කරුණු විමසීම ඉතා වැදගත් බව පෙන්වා දුන් විනිසුරුවරු හෙට දින මෙම පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා වැඩබලන පොලිස්පති වරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ විකෘති කරන ලද තොරතුරු ඇතුළත්කොට බවට චෝදනා කර සිටියේය.
මේ හේතුවෙන් එය සලකා බැලීමට පවා සුදුසු තත්ත්වයක නොපවතින බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එය ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මුල් අවස්ථාවේදීම මූලික විරෝධතා මතු කරන බව සඳහන් කර සිටියේය.
පෙත්සම්කරුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කිසිදු අවස්ථාවක වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර නොමැති බවත් නිසි අධිකරණ ක්‍රියාදාමය අනුගමනය කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති වරයා වෙත උපදෙස් ලබා දීම පමණක් නීතිපතිවරයා විසින් සිදුකර තිබෙන බවයි මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේය.
ඉන් අනතුරුව පෙත්සම හෙට දින යළි කැඳවන ලෙස ද විනිසුරු මණ්ඩල නියම කරනු ලැබීය.
එහෙත් මෙම පෙත්සම මුලින්ම සලකා බැලීම සඳහා අද පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කර තිබූ බව ජනමාධ්‍ය ඔස්සේ පළකර තිබූ බව පැවසුවේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් ජනමාධ්‍යවලට කරුණු දක්වමින් මෙවැනි නියෝගයක් ලබාදී තිබෙන බව සඳහන් කර තිබු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එම වාතාවරනය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට පැමිණ මෙවැනි තොරතුරු ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ලැජ්ජාවට පත්විය යුතු බවට ද අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරු අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය.
හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයක අදාළව තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති වරයා වෙත නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.



