එළබෙන මහමැතිවරණයෙන් වුවද බිහිවන්නේ නව ආණ්ඩුවක් නොව ප්‍රතික්ෂේප කළ යුතු බවට ජනතාවම පැවසූ ආණ්ඩුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (20) ජාතික ජනබලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, අලුත් ආණ්ඩුවකින් හා අලුත් නායකයෙක් ගෙන් ප්‍රශ්න විසඳෙනු ඇතැයි ජනතාව විශ්වාස කරන බවයි.
නමුත් මේවා අලුත් ආණ්ඩු නොවන බවත් පැවසු ඒ මහතා නිමල් සිරිපාල, චන්ද්‍රිකා, මහින්ද හා රනිල් යන සියලු ආණ්ඩු තුළ අමාත්‍යවරයෙක් ලෙස සේවය කළ බවත්, මේ වන විට ගෝඨාභය ජනපතිවරයාගේ ආණ්ඩුව තුළත් ඔහු ඇමතිවරයෙක් බව පැවසීය.
එමෙන්ම මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, එස්.බී.දිසානායක, අනුර යාපා, දුමින්ද දිසානායක හා සුසිල් ප්‍රේමජයන්ත යන තවත් බොහෝ අය එවැනි පුද්ගලයින් ලෙස නම් කළ හැකි බවත් පැවසු අනුර කුමාර මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා ද එවැනි තත්ත්වයට පත්ව ඇතැයි කියා සිටියේය.
මේ පාලන ක්‍රම දෙකම නිසැකයෙන්ම වෙනස් කරනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත් පැවසු අනුර දිසානායක මහතා, පාර්ලිමේන්තුව සැප්තැම්බර් 2 වන දින තෙක් වලංගු බවත් පැවසීය.
නිවැරදි ක්‍රමය අනුව නම් සැප්තැම්බර් මස 2 වන දින විසුරුවා හැර නොවැම්බර් මස මුල් කාලයේ දී මැතිවරණයක් පැමිණිය යුතු බවත් පැවසු ඒ මහතා, මාර්තු 2 වන දින සිදු වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිගේ අතට ලැබීම බවත් කියා සිටියේය.
“දත කට මැදගෙන ඉන්නේ අතට එනකොටම විසුරුවා හරින්න“ යැයි පැවසු මන්ත්‍රීවරයා, එසේ සිදු කරනු ලබන්නේ පසුගිය නොවැම්බර් මාසයේ ආණ්ඩුවට තිබු ප්‍රසාදය දෙසැම්බර් මාසය වෙන විට අඩුවී ඇති බවත් ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට එය තවත් අඩු විය හැකි නිසාවෙන් මෙම තීරණය ගනු ඇතැයි ද පැවසීය.



