පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති මෙම නඩුව අද(27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියෙන් කැඳවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැනුම්දීම සිදු කළේය.
අද දිනයේ නඩුවේ සැකකරුවන් වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය අධිකරණය හමුවේ පෙනී සිටි අතර අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දී සුදු වෑන් රියදුරන් වශයෙන් පෙනී සිටි සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමසීමකදී එම නිලධාරීන් අධිකරණයට කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ඉන් අනතුරුව පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මෙම නඩුවට පාදක වන මාධ්‍ය සාකච්ඡාවේ දී සුදු වෑන් රථ රියදුරන් වශයෙන් පෙනී සිටී සැකකරුවන් දෙදෙනා ඉකුත්දා කටහඬ පරීක්ෂණයකට භාජනය කළ බව සඳහන් කළේය.
එහිදී ඔවුන්ගේ කටහඬ රූපවාහිනී මාධ්‍ය ආයතනවලින් ලබාගත් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන වල පවතින කටහඬ සමඟ සමාන වන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි දිලීප පිරිස් මහතා පෙන්වාදුන්නේ.
මෙම ප්‍රශ්නගත මාධ්‍ය සාකච්ඡාව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියකු වන මලිත් විජේනායක නැමැත්තා විසින් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව ඇති බව ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
සමස්තයක් වශයෙන් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු බොහොදුරට අවසන් වී ඇති අතර සම්පූර්ණ විමර්ශන කටයුතු ඉදිරි සති තුනක පමණ කාලයක් තුළ අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි දිලීප පිරිස් මහතා කියා සිටියේ.



