යාපනය, මන්නාරම ඇතුළු උතුරු පළාතේ විවිධ ස්ථානයන්හිදී මංකොල්ලකෑම්, රන් භාණ්ඩ සොරා ගැනීම් සිදුකළ පුද්ගලියින් පස් දෙනෙකු අත්බෝම්බ ඇතුළු ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි.
අච්චුවේලි ප්‍රදේශයේ නිවාස මංකොල්ලකෑම් හා රන්භාණ්ඩ සොරකම් කිරීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් පිරිස ඊයේ (29) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසූවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබි මංකොල්ලකෑම් වෙනුවෙන් යොදාගත් අත්බෝම්බ දෙකක්, කඩු දෙකක් හා යතුරුපැදි දෙකක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් යාපනය අච්චුවේලි හා චුන්නාකම් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 22ත් 25ත් අතර පිරිසක් වන අතර, අදාළ පිරිස සංවිධානාත්මකව යාපනය, මන්නාරම ඇතුළු ප්‍රදේශයන්හි මංකොල්ලකෑම්, රන් භාණ්ඩ සොරාගැනීම්, කාන්තාවන්ට අපයෝජනය කිරීම් සිදුකොට ඇති බවට තොරතුරු පවතින බවද පොලීසිය පැවසීය.
සැකකරුවන් පිරිස යාපනය, මන්නාරම, වවුනියාව ඇතුළු නගරවල සොර කණ්ඩායම් සමඟ ඒකාබද්ධව සොරකම් සිදුකොට ඇති අතර, එක් ප්‍රදේශයකින් සොරාගන්නා භාණ්ඩ වෙනත් නගරයක් වෙත ගොස් උකස් තැබීම හා විකිණිම සිදුකොට ඇති බවද ආරක්ෂක අංශ පවසති.
පොලීසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් යාපනය අච්චුවේලි, චුන්නාකම්, චාවකච්චේරි හා මන්නාරම ප්‍රදේශයේ සිදුවු සොරකම් හා මංකොල්ලකෑම් වෙනුවෙන් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති අතර, සැකකරුවන් සිදුකළ අනෙකුත් සොරකම් සම්බන්ධයෙන් සොයා පරීක්ෂණ පවත්වන බවයි.
සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



