සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවය අද (02) නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විය.
උත්සව සභාව ඇමතු එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සමගි ජනබලවේගය නිර්මාණය කිරිමට ඉදිරියට තැබු පය කිසිඳු අවස්ථාවක නැවත පසුපසට නොගන්නා බවයි.
සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම සන්ධානයට සහාය දක්වමින් දේශපාලන පක්ෂ 12 ක් මෙහිදි අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ නව ජනහිතකාමී හා ප්රගතිශීලි දේශපාලන මහජන විප්ලය අදින් ඇරඹුණ බවයි.
එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් පක්ෂ හා සංවිධානවල නායකත්වය ලබා දෙන සමගි ජනබලවේගය රටේ පොදු ජනතාවගේ හිත සුව පිණිස පෙරළියක් ඇති කරන බලවේගයක් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ දේශපාලන ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී සන්ධාන හා පෙරමුණු නිර්මාණය වී ඇති බවත් පැවසු ඒ මහතා, ඒවා හුදෙක් මැතිවරණවලට පමණක් සීමා වු පෙරමුණු ලෙස පෙන්විය හැකි වුවත් සමගි ජනබලවේගය මැතිවරණයක් මුල් කර ගෙන නොව එය ස්ථීර සාර වැඩ පිළිවෙලක් බවත් කියා සිටියේය.
සමගි ජනබලවේගය තුළින් ජනතා ආශිර්වාදය තුළින් මහමැතිවරණයත් පසුව පළාත් පාලන මැතිවරණත් ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා යනුවෙන් පැවසු සජිත් ප්‍රේමදාස මහතා, නිර්මල බුදු දහමේ උතුම් ප්‍රතිපත්ති අනුගමනය කරමින් තව වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවත් කියා සිටියේය.



