අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් එම ගැටුම පවතින ප්‍රදේශවල සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ට ගිනිඅවි දෙදහසක් බෙදාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණයකට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.
ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් මාර්තු මස 27 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි වනජීවී අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 24 දෙනෙකු වෙත අධිකරණය විසින් නොතීසි නිකුත් කළේය.
වනජීවී හා පරිසර ආරක්ෂක සංවිධානය විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදු කරනු ලැබීය.
පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ අලි මිනිස් ගැටුම අවම කිරීමේ පියවරක් වශයෙන්ම එම ගැටුම පවතින ප්‍රදේශවල රැඳී සිටින සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් වෙත ගිනි අවි 2000ක් බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි.
මේ තුළින් අලි ඇතුන්ට මෙන්ම වනගතව සිටින වෙනත් සතුන්ට ද හානි සිදුවීමේ අනතුරක් පවතින බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් අදාල අමාත්‍ය මණ්ඩල තීරණය තුළින් අගතියක් සිදු වීමට ඉඩකඩ පවතින හෙයින් එය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම මෙම තීරණයට අනුව දැනටමත් අදාළ ප්‍රදේශවල සිටින සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් වෙත ගිනි අවිය බෙදා දී තිබේ නම් ඒවා නැවත කැඳවීමේ නියෝග නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.



