කොළොන්නාව නගර සභාවේ හිටපු සභාපති රවින්ද්‍ර උදේශාන්ත දොඩම්පේගම මහතා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් රවින්ද්‍ර උදේශාන්ත මහතා නම් කර තිබුණද ඔහු සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හෙතුවෙන් මම නියෝගය නිකුත් කර ඇත.
මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනුණි.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටි රවීන්ද්‍ර උදේශාන්ත මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඒ අනුව අදාළ වරෙන්තුව නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය මැයි මස 21වා දාට කල් දැමුවේය.
2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුල කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටු කර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වත්මන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඒ මහතාගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ බිරිඳගේ ඥාති සොහොයුරෙකු වූ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශයකට පළා ගොස් සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.



