මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ නඩුව – වෝහාරික විගණන වාර්තාවේ වැදගත් විද්‍යුත් දත්ත මකලා

Share

මහ බැඳුම්කර නිකුතුවට අදාළව වෝහාරික විගණනය සිදුකළ කාලසීමාවේ ඊට අදාළ වැදගත් විද්‍යුත් දත්ත මකා දැමූ බවට එම විගණන වාර්තාවේ සඳහන් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ආචාර්ය එම්.ඉසෙඩ්.එම්.හාසිම් මහතා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකරන්නේ ඇයි දැයි විත්තියේ නීතිඥවරු අද (03) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.

 

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවෙකු ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජිත ජයවර්ධන මහතා මෙම කරුණ ඉදිරිපත් කළේය.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි ඇතුළු සැකකරුවන් හත් දෙනකු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සජිත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ දුරකතන ඇමතුම්වලට අදාල දත්ත මකා දමා ඇති බවට චෝදනා කරමින් තම සේවාදායකයන්ට එරෙහිව නඩුවක් ගොනු කර ඇති බව සඳහන් කළේය.

එහෙත් 2002 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර නිකුතුවලට අදාලව පැවැත්වූ වෝහාරික විගණන වාර්තාව මඟින් එම බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කළ ආචාර්ය හෂීම් මහතා විසින් වැදගත් දත්ත මකා දමා ඇති බවට කරුණු වාර්තා කර ඇතැයි නීතිඥ ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ පෙන්වා දුන්නේය.

එහෙත් දත්ත මකා දැමූ බවට චෝදනා කරමින් තම සේවාදායකයින්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබුණද ඒ හා සමහර චෝදනාවක් වෝහාරික විගණන වාර්තාවෙන් එල්ල වී තිබෙන ආචාර්ය හාසීම් සම්බන්ධයෙන් පියවරක් නොගන්නේ ඇයි දැයි නීතිඥ ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාලව අධිකරණය විසින් කරන ලද නියෝග මත වෝහාරික පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි.

එහෙම වෝහාරික විගණන වාර්තාව තුළින් මෙම කරුණු අනාවරණය වුවහොත් එම අවස්ථාවේ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

මෙහිදී  රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණ නියෝග මත සිදුකෙරෙන මෙම බැඳුම්කර නිකුතුවට අදාල වෝහාරික විගණන පරීක්ෂණය මෙතෙක් අවසන් වී නොමැති බව දන්වා සිටියා.

කෙසේ වෙතත් මහ බැංකු බැඳුම්කර වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් සිදුකරන ලද නිර්දේශයට අනුව පවත්වන ලද බැඳුම්කර නිකුතුවට අදාළ වෝහාරික පරීක්ෂණයේ අවසන් වාර්තා පහක් මේ වන විට ඉදිරිපත් වී තිබෙන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණය හමුවේ දන්වා සිටියේය.

ඉන් අනතුරුව පැමිණිල්ල නැවත ලබන 26 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද නියෝග කළේය.

Read more

Local News