ප්‍රදේශ කිහිපයක රන් භාණ්ඩ හා දේපළ කොල්ලකෑම්වලට සම්බන්ධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් පෑලියගොඩ ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එම කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හොරොයින් ග්‍රෑම් 02ක් මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බව සඳහන්.
සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී මහබාගේ, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කටාන යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමේ සිදුවීම් කිහිපයකට සම්බන්ධ බවට අනාවරණය වී තිබේ.
එමෙන්ම ඔහුට විවිධ අධිකරණවලින් වරෙන්තු 09ක් නිකුත් කර ඇති බව පොලිසිය පැවසුවේය.
සැකකරු සතුව තිබී කොල්ලකන ලද රන්භාණ්ඩ, විදුලි උපකරණ, ජංගම දුරකථන, ලැප්ටොප් ඇතුළු උපකරණ තොගයක් ද සොයාගෙන ඇති බව සඳහන්ය.
33 හැවිරිදි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



