රූපවාහිනී-ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කරන්න අනුමැතිය

Share

රූපවාහිනී හා ගුවන්විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකූල කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 

ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන සේවාවන් පවත්වාගෙන යාම සඳහා 1966 අංක 37 දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ සහ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ ප්‍රතිපාදන අනුව මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන සඳහා බලපත්‍ර නිකුත් කරනු ලැබේ.

මේ වන විට පෞද්ගලික ගුවන් විදුලි විකාශන බලපත්‍ර 27ක් සහ රූපවාහිනී විකාශන බලපත්‍ර 54ක් නිකුත් කර ඇත.

එහෙත් ගුවන් විදුලි විකාශන බලපත්‍ර 18ක් සහ රූපවාහිනී විකාශන බලපත්‍ර 28ක් පමණක් වර්තමානයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

එම බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම පිණිස පත් කරන ලද කමිටුවක් විසින් ගුවන් විදුලි හා රූපවාහිනී යන මාධ්‍යයන් දෙවර්ගය සම්බන්ධයෙන්ම කටයුතු කිරීම පිණිස වෙනම ආයතනයක් පැවතීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර ඒ සඳහා ‘විකාශන නියාමන කොමිෂන් සභා’ යනුවෙන් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇත.

එකී කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත්, ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යභාරය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පනතේ විධිවිධාන සංශෝධනය කිරීම තුළින් එම කොමිෂන් සභාව මඟින් ඉටුකරවා ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහාත්, ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීම පිණිස තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.

Read more

Local News