පොදු මගී ප්‍රවාහන බස් රථවල සේවය කරන රියදුරන් සඳහා නොමිලේ පවත්වනු ලබන වෛද්‍ය සායනය අද (10) පෙරවරුවේ බැස්ටියන් මාවත, බස් රථ පර්යන්තයේදී පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා පැවැත්විණි.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදුවන රිය අනතුරු හේතුවෙන් දෛනිකව විශාල ජීවත සංඛ්‍යාවක් අහිමිවන අතර තවත් විශාල පිරිසක් පූර්ණ මෙන්ම අර්ධකාලින දුබලතා සහිත තත්ත්වයට පත්වනු ඇත.
මෙම රිය අනතුරු වලට බලපානු ලබන ප්‍රධාන හේතු සාධක අතර රියදුරන්ගේ ඇස් පෙනීමේ දුබලතා, අධි රුධිර පීඩනය ආදි රෝගී තත්ත්වයන් බලපාන බව අනාවරණය වී තිබේ.
ඒ අනුව රියදුරන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම, මගී ජනතාවගේ ආරක්ෂාව පිණිස හේතුවන බැවින් මෙවැනි වෛද්‍ය සායනයක් සංවිධානය කර තිබේ.
මෙම වෛද්‍ය සායනය මගින් බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ අධි රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ ඇස් පෙනීමේ මට්ටම පරීක්ෂා කරනු ලබයි.
මෙහිදී මෙම පරීක්ෂණ කටයුතු නොමිලයේ සිදු කරනු ලබන අතර ඇස් පෙනීමේ දුර්වලතා පවතින රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනුවෙන් නොමිලයේ ඇස් කණ්නාඩි ලබාදීම ද සිදු කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මෙහෙයවීමෙන් මෙම වෛද්‍ය සායනය සංවිධානය කළ අතර අද දිනයේ මේ සදහා සහභාගී වීමට නොහැකි වූ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනුවෙන් මෙම සායනය නැවත දිනක පැවැත්විමට ද කටයුතු කරන බව සංවිධායක මණ්ඩලය පවසයි.



