හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අප්‍රේල් මස 01 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියෝග කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා කැරම්බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කර රුපියල් කෝටි 5 කට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි මොවුන් දෙදෙනාට චෝදනා එල්වී ඇත.
මෙම නඩුව අද (11) ආර්.ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති ශ්‍රී ලංකා රේගුවේ සහ සතොස ආයතනයේ පවතින බවත් ඒවා මේ දක්වා නිසි පරිදි පරික්ෂා කිරීමට නොහැකි වූ බවත් දැනුම් දුන්නේය.
සතොස ආයතනයේ පවතින පරිගණක පද්ධතිවල දත්ත මකා දමා ඇති බවට එම ආයතනය විසින් දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන ලේඛන උත්පාදනය කළ පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා විත්තියේ නීතිඥවරුන්ට අප්‍රේල් මස 01 වනදා තෙක් කල් ලබා දුන්නේය.
ඉන් අනතුරුව නඩුව අප්‍රේල් මස පළවනදා කැඳවීමටත් විනිසුරු මඩුල්ල නියම කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයා ඉදිරි මහ මැතිවරණයට තරග කරන බැවින් මීළඟ නඩු දිනයේදී ඔහුගේ සහභාගීත්වය නොමැතිව නඩුව පවත්වාගෙන යාමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරුමඩුල්ල අප්‍රේල් මස පළමු වැනිදා විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් තොරව නඩුව කැඳවීමට අවසර ලබාදුන්නේය.
2014 වසරේ සැප්තැම්බර් මස පල වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 26 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ 15ක් ද නම් කර තිබේ.



