මැදවච්චිය, මන්නාරම මාර්ගයේ වව්නියාව නේරියකුලම ප්රදේශයේ දී පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් අද(12) උදෑසන එකිනෙක ගැටී පුද්ගලයින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව සෙට්ටිකුලම පොලීසිය පවසයි.
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථය, සෙට්ටිකුලම සිට වව්නියාව දක්වා ගමන් ගත් ලංගම බස් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති අතර අනතුරින් ලංගම බස් රථය පෙරලී ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් මාර්ගයේ ගමන්ගත් පිරිසගේ සහයෝගය මත සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර ඉන් බරපතළ තත්වයේ සිටි තිදෙනකු වව්නියාව මහරෝහල වෙත මාරුකොට යැවූ බවද පොලිසිය පැවසීය.
කෙසේ වෙතත් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වෙයි.
සෙට්ටිකුලම පොලීසිය පැවසූයේ, බස් රථ දෙකෙහි අධික වේගය හේතුවෙන් අනතුර සිදුව ඇති බවත්, පෞද්ගලික බස් රථ රියදුරු හා ලංගම බස් රථ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
සෙට්ටිකුලම රථවාහන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



