චීනය රජයෙන් මෙරටට පරිත්‍යාගයක්

Share

චීනය රජය විසින් කොරෝනා වෛරස් පරීක්ෂණ කට්ටල 1,000ක් සහ මුහුණු ආවරණ 50,000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

 

මේ අතර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක් ඊයේ (12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei මහතා පවසා සිටියේ චීනය ඉතා දරුණූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව එම තත්ත්වය මැඩ පවත්වා ගැනීමට කටයුතු කළ පසුගිය කාල වකවානුව තුල ශ්‍රී ලංකා රජය චීන රජයට ලබාදුන් සහයෝගය චීන ජනපතිගේ සහ චීන ජනතාවගේ පැසසුමට ලක් වූ බවයි.

කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුල ඉදිරියේ දී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඩපැවැත්වීම සදහා චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදීමට චීන රජය කැමැත්තෙන් සිටින බවද පවසන ලදි.

කොරෝනා වෛරසය ආසාදිතව හමු වූ චීන ජාතික කාන්තාවට ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ප්‍රතිකාර සේවාවන් ලබාදී සුවපත් කිරිමත්, ඇයව ආදරයෙන් රැකබලා ගැනීමත් පිළිබදව ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජය සහ ජනතාව සිය ස්තූතිය පුද කරන බව ද පැවැසීය.

මෙවැනි ව්‍යසනයක දී ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් සිය කාර්ය උපරිමයෙන් සිදු කිරීම පිළිබදවත් විශේෂ ස්තූතියක් සෞඛ්‍ය අමාත්‍යතුමියට පුද කරන බව ද පැවැසීය.

ශ්‍රී ලංකා රජය සදහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇතුලු ඕනෑම සහයෝගයක් ලබාදීමට චීනය කිසිවිටෙකත් පසුබට නොවන බව ද අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාව සමග චීනය සැමදාම අත්වැල් බැදගෙන සිටින බවට චීන වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලද්දේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ද උපදෙස් පරිදි ශ්‍රී ලංකා රජය වෛරසය මැඩපැවැත්වීමට රටක් වශයෙන් තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කරන බවත්, තමා කොරෝනා වෛරසය ආසාදිතව සුව වූ චීන ජාතික කාන්තාව සිප වැළද ගනිමින් දෙරට අතර පවතින සහයෝගීතාව වර්ධනයටත්, කිසිවිටෙකත් වෛරසය ආසාදිතයින් සමාජයෙන් කොන් නොකළ යුතු බවට ලොවට පණිවිඩයක් ලබාදීමටත් කටයුතු කළ බවද පැවැසීය.

පසුගිය තෙමසක කාලය තුල චීන රජය කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගන්නා ලද ක්‍රමෝපායන් ඇතුලත් වාර්තාවක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත මෙහිදී පිළිගන්වන ලදි.

මෙහිදී ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා සෞඛ්‍ය අමාත්‍යවරිය පිළිගන්නා ලද්දේ කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සුව වූ චීන ජාතික කාන්තාව රෝහලෙන් නික්ම යන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇය සිපගන්නා ඡායාරූපයක් සිහිවටනයක් ලෙස පිළිගැන්වීම ද විශේෂත්වයක් විය.

Read more

Local News