කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කලමනාකරණ සේවා අමාත්‍යාංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා විසින් මේ බව දන්වා තිබේ.
ඒ අනුව, එහි මුලික පියවරක් ලෙස රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත් කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකට පැමිණීම 2020 මාර්තු 31 දක්වා තාවකාලිකව සීමා කිරීමට කටයුතු කර ඇත.
එබැවින්, හෙට (17) සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුළ වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.
එමෙන්ම හෙට සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුල දැනටමත් දින හා වේලාවන් ලබා දී ඇති සියලු රියදුරු බලපත්‍ර ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ ද අවලංගු කරනු ලැබේ.
ඒ අනුව, මෙම කාලසීමාව තුළ වේරහැර හා අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණීමෙන් වලකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.
මේ කාල සීමාව තුළ කාලය දීර්ඝ කිරීමට නියමිත රියදුරු බලපත්‍ර හා තාවකාලිකව අවලංගු කරන ලද පරීක්ෂණ සඳහා ලබා දෙන විසඳුම පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරනු ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ දැනුම් දීම පරිදි මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කර තිබේ.



