ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (26) යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
නව කොරෝනා වෛරසය මෙරට තුළ පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සහය ලබා දෙමින් සිටියි.
ඒ අනුව යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී අසරණ ජනතාව වෙනුවෙන් වියළි සළාකයන් ලබා දීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ ඊයේ පැවැත්වීමට කටයුතු කෙරිණි.
එහිදී නයනතිව් සහ එළුවතිව් දූපත්වාසී අසරණ ජනතාව වෙත අත්‍යාවශ්‍ය වියලි සළාක පාර්සල් 698 කට අධික ප්‍රමාණයක් බෙදාදීම සිදු කරන ලදි.



