ඇඳිරි නීතිය පවතින කාලය තුළ සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීමේ විශේෂ සේවාවක් අද (5) දිනයේ සිට ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිශන් සභාව තීරණය කර ඇත.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම හා මහජන උපයෝගීතා කොමිශන් සභාව ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාවට නංවා ඇති බව සඳහන්.
මෙම ක්‍රියාවලිය යටතේ පාරිභෝගික පරිශ්‍ර තුළ පිහිටි අභ්‍යන්තර විදුලි හා ජල සේවා පද්ධතිවල දෝෂ අළුත්වැඩියා කර ගැනීම සදහා පාරිභෝගිකයින්ට එම ගැටළු ඉදිරිපත් කිරීමට මේ යටතේ පහසුකම් සලසා තිබේ.
ආරම්භයේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක සදහා මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක කෙරෙන අතර අවශ්‍යතාව මත අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ද මෙම විශේෂ තාක්ෂණික සේවාව ව්‍යාප්ත කෙරෙන බව මහජන උපයෝගීතා කොමිශන් සභාව සඳහන් කළේය.
අදාල සේවය ලබාගැනීමෙන් අනතුරුව ඒ සදහා ගාස්තු අය කිරීමේදී සාධාරණ ගාස්තු අය කිරීමටත්, පිළිගතහැකි ලදුපතක් නිකුත් කරන ලෙසත්, විදුලි කාර්මිකයින් සහ ජලනල කාර්මිකයින්ට ද උපදෙස් ලබා දී තිබේ.
අදාල සේවාවන් ලබා ගැනීම සදහා 1939, 1987 හෝ 1910 යන අංක ඇමතිය හැකි බව ද කොමිශන් සභාව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිශන් සභාවේ 0764271030 දුරකතන අංකයට ඇමතුමක් ලබාදිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.



