දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන් කර ඇත.
එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සඳහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
දැනට දීමනාව ලබමින් සිටින සහ පොරොත්තු ලේඛණවලට ඇතුළත්ව සිටි වැඩිහිටියන් 559,109කට අමතරව තවත් ග්‍රාමීය කමිටු විසින් අනුමත කරන ලද 74,154 දෙනෙකුට රුපියල් 5,000 හි වැඩිහිටි දීමනාව රජය විසින් ගෙවීමට කටයුතු කරන අතර එලෙසම දැනට දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි ආබාධිත පුද්ගලයින් 110,791කට අමතරව තවත් 14,195 දෙනෙකුට රුපියල්, 5,000 ක දීමනාව රජය විසින් ගෙවීමට තීරණය කර ඇත.
තවදුරටත් දැනට දීමනා ලබමින් සිටි සහ පොරොත්තු ලේඛණවල සිටි වකුගඩු රෝගීන් 39,170ට අමතරව තවත් 5,884 දෙනෙකුට රජය විසින් රුපියල් 5,000 හි වකුගඩු දීමනාව ගෙවීමට ද තීරණය කර ඇත.
මෙලෙස අමතරව ගෙවන සියලු දීමනා අද දිනයේ දී (15) ග්‍රාම නිලධාරීන් මගින් අදාල ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීම් සිදු කිරිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් නිවේදනය කරයි.
මේ පිළිබඳව කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්චාවක් අද දින කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යශයේදී පවත්වා ඇත.



