කෙසෙල්වත්තෙන් හමු වු කො‌රෝනා රෝගීන් අතර ගැබිණි කතක්

Share

අද (19) පස්වරුවේ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15 දෙනකු හමුවී ති‌බෙන අතර ඒ අතරට ගැබිණි කාන්තාවක්ද අයත්.

 

සෞඛ්‍ය අමාත්‍යාශය පවසන්නේ, සමස්ත රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගෙස් ඇති බවයි.

කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ කාන්තාව හා සෘජු සබඳතා පැවැත්වූ පුද්ගලයින් 56 දෙනෙකුගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණයට ඊයේ (18) දිනයේදී යොමු කළේය.

ඒ අනුව ඔවුන්ගේ එම වාර්තාව අද පස්වරුවේ නිකුත් විය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ ඉන් දොලොස් දෙනෙකුට වෛරසය ආසානය වී ඇති බවයි.

එමෙන්ම ඊයේ දහවල් රෝහල්ගත කළ එම ප්‍රදේශයේම පදිංචි අයෙකුට ද වෛරසය ආසාදනය වී තිබේ.

මේ අතර එම ප්‍රදේශයේම පදිංචි ගැබිණි කාන්තාවකට ඊයේ රාත්‍රියේ රුධිර වහනය වීම නිසා ඇයව රෝහල්ගත කර තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් අද වන විට වාර්තා වූ කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන 15ක් බව සඳහන්.

මේ අතර කෙසෙල්වත්ත කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාවගේ සැමියාට ද වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සේවය කළ පෞද්ගලික සනීපාරක්ෂක කටයුතු සිදුකරන ආයතනයේ සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල අද ලබාගත්තේය.

මේ අතර ගත වූ පැය විසි හතර තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දස දෙනෙකු වාර්තා විය.

ඉන් හය දෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් තිදෙනෙකු ද, එක් කාන්තාවක් වරකාපොලින් ද වාර්තා වී තිබේ.

යුද හමුදාපතිවරයා කියා සිටියේ, ඔවුන් සියලුදෙනාම නිරෝධයනය වෙමින් සිටි පිරිසක් බවයි.

මෙම පිරිස අතරින් වරකාපොලින් වාර්තා වූ 44 හැවිරිදි කාන්තාව ස්වයං නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක්.

ඇය වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ සිය සහෝදරයෙකුගෙන් නිවසේ පදිංචියට රඹුක්කන සිට පැමිණ ඇත්තේ මීට මාස තුනකට පමණ පෙරයි.

ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි පෞද්ගලික සමාගමක සේවය කළ සනීපාරක්ෂක කටයුතු සිදුකරන කාන්තාවක්.

ස්වයං නිරෝධායන කාලසීමාවේදී ඇය තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ගෙන තිබේ.

පසුව ඇය පී.සී.ආර්. පරීක්ෂණයකට යොමුකර තිබුණත් එහිදී වෛරසය ආසාදනය වී නැත.

කෙසේ වෙතත් දින දහයකට පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. මේ වන විට ඇය ප්‍රතිකාර ලබන්නේ කොළඹ අයි.ඩී.එච්. රෝහලේයි.

Read more

Local News