වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර පසුව නිවාඩු ලබා පදවිය, ශ්‍රී පුර ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණි තවත් නාවික භටයෙකුටද රෝග ලක්ෂණ පහළ වීම නිසා ඔහුව PCR පරික්ෂණයට ලක්කර තිබේ.
එහි වාර්තාවට අනුව ඔහු කොවිඩ් 19 ආසාදිතයෙක් බව තහවුරුවීම නිසා රෝහල්ගත කෙරුණු අතර එම සෙබළා ළඟින් ඇසුරු කළ නිවාස පහක පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනයටත් පියවර ගැනුණි.
එමෙන්ම එප්පාවල ප්‍රදේශයෙන් පසුගියදා හමු වූ නාවික සෙබලා කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වීමෙන් පසු ඔහු ගමන් කර තිබූ එප්පාවල නගරය තුළ සේවා කටයුතු අද සිට දින දෙකක කාලයක් අත්හිටුවා තැබීමට ප්‍රදේශයේ රාජ්‍ය ආයතන හා වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.
මීට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නිරතව සිට පසුව නාවලපිටිය පිහිටි සිය නිවෙස් වෙත ගිය නාවික සෙබලුන් දෙදෙනා කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු කරගැනීමෙන් පසු ඔවුන් පදිංචිව සිටි දෙකිඳඅලුත්ගම සහ ගොන්දෙන්නාව යන ගම්මාන වල පදිංචි පවුල් 8 කට අයත් 34 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත අද රැගෙන යනු ලැබුවේය.
මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර පසුව නිවාඩුවට තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණි නාවික සෙබලාටද කොවිඩ් වැලදී ඇතැයි ඊයේ පස්වරුවේ තහවුරු වීමෙන් පසුව ඔහුව IDH රෝහලට ඇතුලත් කරනු ලැබුවේය.
ආසාදිත සෙබළාගේ පවුලේ සාමාජිකයින් තිදෙනා නිවස තුලදීම ස්වයං නිරෝධායනය ලක්කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තේය.
පවතින තත්වය යටතේ අද පෙරවරුවේ තංගල්ල නගරයට පැමිණි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමුඛ නිලධාරීන් වෙළදසැල් වසා දමන්නැයි නියෝග කළත් ඇතැම් සිල්ලර වෙළදුන් එම උපදෙස් නොතකා භාණ්ඩ අලෙවි කළ ආකාරයද දක්නට ලැබුණි.
කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු කරගත් වැලිසර නාවික හමුදාවේ සෙබලුන් සිව්දෙනෙකු වත්තල,කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති රෝහල්වල සායනික අපද්‍රව්‍ය ආරක්ෂිතව දහනය කරන ආයතනයකට අනියුක්තව රාජකාරිවල නිරතව සිට තිබේ.
ඒ අනුව එහි සේවය කරන 65 දෙනෙකු මෙන්ම ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 5දෙනෙකුගේ ජෛව සාම්පල වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අද ලබාගනු ලැබුවේය.
මේ අතර රාජකාරී අවසන් කර නිවාඩු පැමිණ සිටි සූරියවැව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළකු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වීම නිසා අද උදෑසන සිට සූරියවැව,වීරීයගම සහ රන්මුදුවැව ග්‍රාම සේවා වසම් දෙක හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
මේ හේතුවෙන් අද ඇඳිරී නීති ලිහිල් කර තිබුණත් සූරියවැව නගරයේ ඇති සියලු වෙලදසැල් අද වසා දමා තිබුණි.
අනුරාධපුර, සාලියපුර තෙප්පන්කුලම ගම්මානයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු කරගැනීමෙන් පසුව තෙප්පන්කුලම ගම්මානය සහ ඔහු සංචාරය කර තිබූ පානියංකඩවල ගම්මානයද අද උදෑසන සිට හුදකලා කරනු ලැබුවේය.
කොළඹ,නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා කිරීමටද පියවර ගැනුණි.
ඒ එහි පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මවට සහ ඊට යාබද නිවසේ සිටි 4 හැවිරිදි කුඩා දරුවෙකුටද වෛරසය වැලදී ඇතැයි PCR පරීක්ෂන මගින් තහවුරු වීමෙන් පසුවයි.
අදාල ආසාදිතයා ඉකුත් මාර්තු 15 වැනිදා මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකු වන අතර ඔහු ස්වයං නිරෝධායනයට ලක්ව තිබේ.
ඉන් පසු ඔහු වෙනත් අසනීප තත්වයක් වෙනුවෙන් ශල්‍ය කර්මයක් සිදුකිරීමට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු වූ අවස්ථාවේ පසුගිය අප්‍රේල් 25 වැනිදා සිදු කළ PCR පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දේහාන් විතානගේ මහතා සඳහන් කළේය.
මෙලෙස ඔහු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ දින 14 ක ස්වයං නිරෝදායන කාලය නිමා කර දින 27 කට පමණ පසුවයි.
ඒ අනුව ඔහු මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියි.
එම ආසාදිතයාට ශල්‍ය කර්මය සිදු කළ වෛද්‍යවරුන් , හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කර ඇති අතර අදාල ශල්‍යාගාරයද වසා දමා තිබේ.
ඔවුන් ඇසුරු කළ තවත් පුද්ගලයින් 34දෙනෙකුගේ ජෛව සාම්පල ලබාගැනීම අද උදෑසන සිදු විය.
එහි පවුල් 8කට අයත් පුද්ගලයින් 29 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
මේ අතර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ආසාදිතයෙක් ඇසුරු කර ටොරින්ටන් මාවතේ 60 වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුටද එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.
ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි පවුල් 12 කට අයත් 31 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර අදාල ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් 37 දෙනකු අද PCR පරික්ෂණයට ලක්කෙරුණි.
කොළඹ මහ නගර සභාවේ සේවකයෙකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු කරගැනීමෙන් පසු ඔහුගේ පවුලේ 5 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණි.



