යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
කොඩිකාමම්, කරම්බකත්ති ප්‍රදේශයේදී පවුල් ආරවුලක් මුල් කර ගනිමින් ඥාතීන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.
ගැටුම අතරතුර තියුණු ආයුධයකින් සිදුකළ පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ 40 හැවිරිදි අදාල පුද්ගලයා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
එහිදී තුවාල ලැබූ මියගිය පුද්ගලයාගේ බිරිද ඇතුළු තිදෙනෙකු ප්‍රතිකාර සඳහා චාවකච්චේරිය සහ යාපනය රෝහල් වෙත ඇතුලත් කර ඇති බව පොලීසිය පැවසුවේය.
ඝාතනයට අදාලව සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොඩිකාමම් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරයි.



