කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය යලි නංවාලීම සඳහා එම ක්ෂේත්රයේ නිරත වූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේත්රයේ නියතු වූවන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් මේ සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.
හෝටල් හිමියන්, මාර්ගෝපදේශකයන්, සංචාරක කුලී රථ රියදුරන්, සංචාරක බස් රථ රියදුරන් සංචාරක ක්ෂේත්රයේ නිතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන් ද සමඟ සාකච්ඡා කර මෙම සහන වැඩපිළිවෙල සැකසීමට කටයුතු යොදා තිබේ.
රටවල් 48කට ලබා දී තිබූ නිදහස් වීසා පහසුකම්, සංචාරක සංවර්ධන බද්ධට ලබා දී තිබූ සහන තවදුරටත් ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ වෙනම යෝජනා වලියක් ඉල්ලා තිබේ.
ඊට අමතරව සංචාරක, ගුවන්සේවා ක්ෂේත්‍ර නංවාලීමේ ඒකාබද්ධ සැලසුමක්ද සැකසෙමින් තිබේ.
මෙම යෝජනා හා සැලසුම් පිළිබදව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ලොව පුරා කොරෝනා වසංගතය පැතිරයාමත් සමඟ සංචාරක කර්මාන්තය බිඳ වැටීම ලෝකයටම පොදු තත්ත්වයක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා බිද වැටුණු සංචාරක කර්මාන්තය යලි නංවාලීම සඳහා වත්මන් රජයට හැකියාව ඇති බවද පෙන්වා දුන්නේය.



