ඓතිහාසික පොතුවිල් මුහුදු මහ විහාරයට අයත් පුරා විද්‍යා භූමියේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා අනුඛන්ඩයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එමෙන්ම මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියට අක්කර 61ක් ඇතුළත් වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
ජනප්‍රවාද හා ලිඛිත සාක්ෂි මත විහාර මහා දේවිය මුහුදේ පාවී පැමිණ ගොඩබට ස්ථානය ලෙස ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරය සැලකෙයි.
පුරා විද්‍යා සාධක විශාල ප්‍රමාණයක් සහිත එම භූමිය 1951 වසරේදී අක්කර 72ක් සහිතව ගැසට් කිරීමට එවකට පුරාවිද්‍යා කොමසාරිස් ලෙස කටයුතු කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කටයුතු කර තිබුණි.
නමුත් අන්තවාදී පිරිස් විසින් දිගින් දිගටම එම විහාරයට අයත් පුරාවස්තු විනාශ කරමින් පුරාවිද්‍යා භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් සිටින අතර මේ වන විට විහාරයට අයත් භූමි ප්‍රමාණය අක්කර 17ක් දක්වා අඩු වී තිබේ.



