කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් හා සැපයුම්කරුවන් මුහුණ දී සිටින දුෂ්කරතා සඳහා මුදල් අමාත්‍යාංශය හා බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුම් ලබා දීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන ඇත.
මෙම උත්සව සහ විනෝදාස්වාද ඉසව් කර්මාන්තයේ නියැලී සිටින පිරිස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඔවුන්ගේ ආයතන නිසි පරිදි ව්‍යුහගත කර තෝරා ගන්නා ආයතන සඳහා සහතික පත්‍රයක් ලබා දීමේ ඉඩකඩ සොයා බැලීමටත් කටයුතු කරීමටද යොමු වී තිබේ.
සිය අමාත්‍යංශයේ දී උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් සහ සැපයුම්කරුවන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
උත්සව සහ විනෝදාස්වාද ඉසව් සැලසුම් සහ සැපයුම්කරුවන්ගේ සංගමය ලෙස ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම වූ තම කර්මාන්තය රජයේ ආයතනයක් යටතේ ලියාපදිංචි කරවා ගැනීමට අමාත්‍යවරයාගේ පූර්ණ එකඟතාවය පළ වූ බවත් ඉදිරියේ දී එම ඉල්ලීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ඉටුවනු ඇති බවත් ඉහත සංගමයේ නියෝජ්‍ය සභාපති සජිත් කොඩිකාර මහතා පැවසීය.
එසේම කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි මූල්‍යමය දුෂ්කරතාවලට මුහුණ පා සිටින තම ක්ෂේත්‍රයේ පිරිස්වලට සහන පොලී අනුපාත යටතේ ණය ලබාදෙන ලෙසත් ණය වාරික සහ කල්බදු ගෙවීමේ දී ලිහිල් පටිපාටියක් අනුගමනය කරන ලෙසත් කළ ඉල්ලීම ඒ මොහොතේම මුදල් අමාත්‍යාංශය සහ බැංකු වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා ගත් පියවර අගය කරන බව ද සජිත් කොඩිකාර මහතා වැඩිදුරටත් පැවසීය.



