බුද්ධි නිලධාරීන් රිය අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

Share

ඉකුත් එකොළොස් වන දා කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ දී බීමත්ව රිය පදවා පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද නීති ශිෂ්‍යයකු බව කියන පුද්ගලයා තවදුරටත් ලබන 19 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් මහතා නියෝග කර ඇත.

 

එම පැමිණිල්ල අද (15) කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණේය.

පැමිණිල්ල වෙනුවෙන් සිටි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බව සඳහන් කළේය.

අනතුර සිදුවූ ප්‍රදේශයේ සීසීටීවී දර්ශන ලබාගෙන මෙම අනතුර සිදු වූ ආකාරය පිළිබඳව තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය බවත් එතෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, මෙය හිතාමතා සිදුකළ අපරාධයක් නොවන බවත් රිය අනතුරක් පමණක් බවත් සඳහන් කළේය.

කෙසේවතත් අනතුරට ලක් වූ පුද්ගලයින් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට තම සේවාදායකයා සූදානම්ව සිටින බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 19 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

එදින සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

Read more

Local News