සජින් වාස්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවක සාක්ෂි විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30 කට අධික වත්කම් සා මුදල් අයථා ලෙස උපයා ගත්තේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබේ.

සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් සජින් වාස් ගුණවර්ධන මහතා ගොනු කළ පෙත්සමක් විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුවට අදාළ විරෝධතා ජුලි මස 03 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි වශයෙන් පරිගණක දෘඩාංග තැටි 10 ක් අන්තර්ගත කර තිබෙන බව සඳහන් කළේය.

එහෙත් ඉන් පරිගණක දෘඩාංග තැටි 03 ක් ක්‍රියාත්මක නොවන තත්ත්වයක පවතින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එම පරිගණක දෘඩාංග තැටි තුන තුළ අන්තර්ගත දත්ත මත සාක්ෂි මෙහෙයවීමක් සිදු වූවොත් ඉන් තම සේවාදායකයාට අගතියක් සිදුවුනු ඇති බව සඳහන් කළේය.

මෙම තත්ත්වය මත තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් අදාළ පරිගණක දුඩාංග තැටි දහයම කොළඹ හෝ මොරටුව විශ්ව විද්‍යාල වල පරිගණක අංශ වෙත යොමු කර විමර්ශන වාර්තාවක් කැඳවීමට අවසර දෙන ද අධිකරණ ඉල්ලා සිටියේය.

Read more

Local News