මහ මැතිවරණය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ පොදු ප්‍රවාහන සැළැස්මක්

Share

මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිට ගම්බිම් බලා යන සහ ආපසු කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් වි‌ශේෂ පොදු ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

 

එම සැළැස්ම ජුලි 31 දින සිට අගෝස්තු 10 දක්වා ක්‍රියාත්මක බව ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලු බස් රථ ධාවනය සඳහා යෙදවීමට පියවර ගෙන තිබේ.

පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600ක් පමණ අවශ්‍ය වුවහොත් ප්‍රවාහන සේවා සැලසීමේ අරමුණින් ධාවනය සඳහා සුදානම් කර තිබෙන බවද ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුව සතුව පවතින සියලු දුම්රිය ද ධාවනය සඳහා එක්කර තිබේ. ඇතැම් දුම්රිය ගමනාන්තයන් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනය සඳහා යොදවා තිබේ.

පොදු ප්‍රවාහන සේවා සැපයීමේ දී කෙතරම් පිරිසක් ගමන් කළ ද කොවිඩ් 19 සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙල අනුව ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම, මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

මුහුණු ආවරණ නොමැතිව මගීන් බස් රථ හෝ දුම්රියවලට ඇතුළුවීමට අවසර නොදෙන බවත් දෑත් සෝදා ගැනීමේ පහසුකම් මෙන්ම බස් රථ තුළ විෂබීජනාශක ලබාදීම සිදුකරන ලෙස උපදෙස් දී ඇති බවත් ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

මගීන්ට ප්‍රවාහන ගැටලුවක් ඉස්මතු වුවහොත් ඒ් සම්බන්ධව ලංගම හෝ ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දිය හැකි බව ද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

Read more

Local News