අභිමානවත් හැත්තෑ වැනි ජාතික නිදහස් දිනය අදයි

අභිමානවත් හැත්තෑ වැනි ජාතික නිදහස් දිනය අද (04)යි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ශ්‍රී ලාංකීය ජනයා ‘එකම දැයක්’ තේමාව යටතේ සමඟිව, එකමුතුව, එක මිටට රොද බැඳ තබන අභිමානවත් හැත්තෑ වැනි ජාතික නිදහස් දිනය අදට යෙදී අැත.

හිරු නොබසින අධිරාජ්‍යයාගේ කිරීටයෙන් මිදී නිදහස් නිවහල් ජාතියක් ලෙස ලොව හමුවට පැමිණි අප මාතෘ භූමියේ අතීත වර්තමාන හා අනාගත ගමන් මඟ කදිමට පෙන්නුම් කරන නිදහස් දින සැමැරුම් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී අද උදේ පැවැත්වේ.

මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ විශේෂ නියෝජිතයා ලෙස එතුමියගේ පුත්‍ර එඩ්වඩ් කුමරු සහ සොෆිරයිස් ජෝන්ස් කුමරිය මෙවර ජාතික දින සැමරුමේ රාජකීය ආරාධිත අමුත්තෝ ලෙස සහභාගී වෙයි. මීට අමතරව විදේශ රාජ්‍යයන් සියයකට අධික ප්‍රමාණයක නියෝජිතයෝ 70 වැනි ජාතික සැමරුම් උත්සවයට එක්වෙයි.

ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැඟීමේ දී සිය දිවි දෙවැනි කොට තම මවුබිම වෙනුවෙන් කැප වූ යුද නාවික ගුවන් හා සිවිල් ආරක්ෂක බළකාවල හා ජාතික ශිෂ්‍ය භට බළකායේ විරුවෝ තම සුරුවිරුකම් විදහාපාන ආචාර පෙළපාළියක් පවත්වනු ලබන අතර මීට රණවිරුවෝ 7204ක් එක්වෙති.

මේ උත්සව අවස්ථාව වර්ණවත් කිරීම වෙනුවෙන් ගුවන් භටයන්ගේ පැරෂුට් සංදර්ශනයක් ද පැවැත්වෙයි.

Exit mobile version