LTTE සැමරුම් තහනම් කරමින් මුලතිව්-යාපනය අධිකරණවලින් නියෝග

උතුරු ප්‍රදේශයේ මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රික්කවල මේ සතිය පුරා පැවැත්වීමට සංවිධාන කර තිබූ “මහාවීර්” උත්සවය තහනම් කරමින් මුලතිව් හා යාපනය මහේස්ත්‍රාත් අධිකරණ මගින් නියෝග නිකුත් කර තිබේ.

 

නීතිපතිවරයාගේ උපදෙස් මත එම අධිකරණ හමුවේ කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මුලතිව් හා යාපනය මහේස්ත්‍රාත්වරුන් විසින් එම තහනම් නියෝග නිකුත් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

මහාවීර් උත්සවය පැවැත්වීම නැවැත්වීම සඳහා එම දිස්ත්‍රික්කයන්හි මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ කරුණු දැක්වීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට පසුගියදා උපදෙස් ලබාදී තිබුණි.

එම උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පසුගිය (24) වැනිදා මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු දක්වන ලද අතර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීම ඊයේ ( 25 ) සිදු කරන ලදි.

එම කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව “මහාවීර්” සැමරුම් පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ මගින් මේ නියෝග නිකුත් කර තිබේ.

Exit mobile version