කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 75 ක්

Share

ශ‍්‍රී ලංකා රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇ.ඩො. මිලියන 75 ක අතිරේක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇත.
මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂිකා ශ‍්‍රී විදෝවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙනුත් ඊයේ (16) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අත්සන් තබන ලදී.
මෙම ණය ආධාර මඟින් පළමු වතාවට ණය ලබාගන්නා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, කාන්තාවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යවසාය සහ කොළඹින් පිටත ස්ථාපිත වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හට ප‍්‍රමුඛතා පදනමින් ණය ලබාදීමට කටයුතු යොදනු ලැබේ.
ශ‍්‍රී ලංකා රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතිය මූල්‍යයනය කිරීමට ඇ.ඩො. මිලියන 100 ක ණය මුදලක් මෙයට පෙර 2016 දී ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය මඟින් මූල්‍ය පහසුකම් සඳහා ප‍්‍රවේශය සහ රැකියා අවස්ථා පුළුල් කිරීමෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන ලදී. මෙම ව්‍යාපෘතිය දැනට සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වන බැවින් එය තවදුරටත් පුළුල් කිරීම සඳහා රජය විසින් ඇ.ඩො. මිලියන 75 අතිරේක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට තීරණය කරන ලදී.
ඇ.ඩො. මිලියන 75ක් වූ මෙම ණය මුදල, එකක් ආසන්න වශයෙන් ඇ.ඩො. මිලියන 25ක් පමණ වන අදියර 3කින් උපයෝජනය කිරීමට නියමිත අතර රජය විසින් මෙම ණය මුදල් බැංකු ක්ෂේත‍්‍රයේ පවත්නා සාමාන්‍ය බැංකු තැන්පතු අනුපාතිකය අනුව අර්ධ වාර්ෂිකව සහභාගීත්ව බැංකු වෙත දේශීය මුදලින් උපණය ලෙස ලබාදීමට නියමිතය.
මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතියේ අතිරේක ණය මුදල් බැංකු හරහා කරනු ලබන මූල්‍යනයන් වැඩිකිරීම, නව්‍යතාවයකින් යුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මූල්‍යයනය කිරීමේ ක‍්‍රමයක් නිර්මාණය කිරීම යන ප‍්‍රතිදානයන් දෙක මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය කරනු ලැබේ. අනෙක් ප‍්‍රතිදාන දෙක වන ඉලක්කගත කුඩා හා මධ්‍ය පරිමාණ පොකුරු ව්‍යවසායකයන්ගේ මූල්‍ය සේවා සඳහා ප‍්‍රවේශ වීමේ ධාරිතාවය වැඩිකිරීම, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය/ ව්‍යාපාර ක‍්‍රියාවලි බාහිරකරණය යන පොකුරු ව්‍යවසායන්හි තරඟකාරීත්වය ශක්තිමත් කිරීම, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සුපරීක්ෂණ යටතේ ක‍්‍රියාත්මක කරන අතර සමස්ත ව්‍යාපෘතිය 2020 මාර්තු 31න් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

Read more

Local News