මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී තිබෙන බව සංගක්කාර කියයි

Share

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගැඹුරු අගාධයක වැටී තිබෙන බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සදහන් කළේය.

 

ශ්‍රී ලංකාවේ පළමු පෙළ තරග සැකැස්ම තුළින් වඩාත් හොඳ පිතිකරුවන් නිර්මාණය නොකරන නිසා මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බව සංගක්කාර මහතා මෙහිදී සඳහන් කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කුමාර් සංගක්කාර මහතා මේ බව පැවසීය

වැඩ්දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ”ඒක හරිම දුර්වල පිතිහරඹයක්. ඕනෑම ඉනිමක් ගත්තොත්, පිතිකරුවන් එක්කෙනෙක් හෝ දෙන්නෙක්, දුර්වල පහරවලින් දැවී යනවා. සමහර වෙලාවට දුර්වල පහරක් ගහලා අවුට් වුණා කියලත් අපි කියනවා. ඒත් හැම දෙනාම වාගේ එකම වැරැද්ද කරන්නේ. ඒ වගේම ටෙස්ට් තරගයක පළමු ඉනිමේදී එහෙම වුණ එක නම් ඉතාම කණගාටුදායක තත්ත්වයක්. තරගයට යන්න ඉස්සරවෙලාම පෙනුණු දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවම ටෙස්ට් තරගයකට මුහුණ දෙන්න තරම් සංවිධිත තත්ත්වයක නෑ කියන එක.ඔවුන්ගේ ක්‍රියාකාරකම්, නැත්නම් තාක්‍ෂණය  සම්බන්ධයෙන් ඔවුන්ට පාලනයක් තිබුණේ නෑ. කිසි කෙනෙක් ඒ තත්ත්වයේ හිටියේ නෑ. ඒ වගේ තත්ත්වයක් තියෙන විට මා කියන්නේ කිසියම් පහරක් ගහන්න හෝ පාලනය කරගන්න ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නෑ.. ඒ වගේම සන්සුන්ව, බුද්ධිමත්ව තීරණ ගත යුතු වෙලාවලදීත්, උමතුවෙන් වගේ තීරණ ගත්ත ආකාරයක් දකින්න ලැබුණා. සමස්තයක් වශයෙන් තාක්‍ෂණයේදී සූදානම් වීමේදී නැත්නම් තීරණ ගැනීමේදී වුණත්, ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දුර්වල මට්ටමක හිටියේ” යනුවෙනි. ”අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා. සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ. මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක්‍රිකට් ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවේ නොමැති වීමයි. අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයන් රැසක්ම බිහි කළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, මේ තියෙන ක්‍රමවේදයේ ගැටලුවක් දක්නට ලැබෙනවා. සෑහෙන කාලයක් අපි දක්‍ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා. ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ”

මෙම සාකච්ඡාවේදී එංගලන්ත හිටපු ක්‍රිකට් නායක නසාර් හුසේන් ද අදහස් දැක්විය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටයින් වන සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, වැනි ක්‍රීඩකයින් මෙම දුර්වල පිති හරඹය දුටුවිට කුමක් හැඟෙනු ඇත්දැයි නසාර් හුසේන් එහිදී විමසුවේය.

ටෙස්ට් තරගයක මෙවැනි දුර්වලම පිතිහරඹයක් දුටු පළමු අවස්ථාව මෙය බවත්, ටෙස්ට් තරගයක පළමු දිනයේදී තරගයක් ජයග්‍රහණය කිරීමට නොහැකි නමුත් තරගයක් පරාජය වීමට එහි බලපෑම අති මහත් බවත් ඔහු පෙන්වා දුන් කරුණකි.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සහ වගකීම් විරහිත පිතිකරණ විලාසය ප්‍රවීණ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ.

Read more

Local News