පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක් – පොහොර හිඟයක් ඇති නොවීමට කටයුතු

Share

මැතිවරණයෙන් පසු පළමු වරට ජාතික ආර්ථික සභාව (21) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක් හඳුන්වාදීම තුළින් පවතින ගැටලු අවම කර ගැනීම යොමු කෙරිණි.

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප‍්‍රධාන ගැටලු දෙකක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, පොහොර සහනාධාරය දැනට ලබා දෙන ක‍්‍රමය වන මුදල්මය වශයෙන් ආධාර ලබා දීම සංශෝධනය කිරීම සහ පොහොර හිඟයක් ඇති නොවීමට කටයුතු කිරීම පිළිබඳ ඒ අනුව සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොවියාගේ පොහොර අවශ්‍යතාවය විසඳීමට කටයුතු කරන අතුරතුර, කෘෂිකාර්මික පොළොව දූෂණය නොවන අයුරින් එය සිදු කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජාතික ආර්ථික සභාවට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට මෙහිදී නිර්දේශ කෙරිණි. එමෙන්ම, පොහොර හිඟයක් ඇතිවීම වැළැක්වීම පිණිස, රජය විසින් පොහොර සංචිත පවත්වා ගැනීමේ වැදගත්කම යෝජනා විය. ඒ සඳහා සුදුසු ක‍්‍රමවේදයක් හඳුනා ගැනීමට ද නිර්දේශ කෙරිණි.

ඉහළ යන ජීවන වියදම පාලනය කිරීම පිළිබඳ මෙහිදී ප‍්‍රමුඛ අවධානයක් යොමු කෙරිණි. ජීවන වියදම ඉහළ යාමට ප‍්‍රධාන හේතුව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම බව හඳුනා ගැනුණු අතර ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු ගැන සොයා බලා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට යෝජනා විය. මේ අතුරින්, සහල් සහ පොල් මිල පාලනය ගැන අවධානය යොමු වූ අතර, ජාතික ආර්ථික සභාව, පාරිභෝගික සේවා අධිකාරිය, මහ බැංකුව සහ වෙනත් ආදාළ ආයතන සමග එක්ව කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත් එමගින් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම සීමා කිරීමටත් යෝජනා විය.

 

 

Read more

Local News