ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ රැසක් සංරක්‍ෂණය කර අවසන්

Share

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ආරම්භක පියවරක් ලෙස, ගම්පහ දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන 55ක් සතුව තිබූ ඉතා දුර්ලභ පුස්කොළ පොත් ඇතුළු 3,600කට අධික පෞරාණික ග‍්‍රන්ථ ප‍්‍රමාණයක් අනාගත පරපුර සඳහා සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ වන විට අවසන්ව තිබෙයි.

මීට අදාළව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම පුස්කොළ පොත්වල පැවති තොරතුරු අළලා සකස් කරන ලද ජාතික පුස්කොළ පොත් නාමාවලියේ පළමු වෙළුම ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට ද නියමිතයි.

අතීත ශ‍්‍රී ලාංකිකයන් තම දැනුම සහ තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්‍ෂා කරගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් ලෙස පුස්කොළ පොත් භාවිතා කරනු ලැබුවා. ශීඝ‍්‍රයෙන් අභාවයට යන මෙම සංස්කෘතික උරුමය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම සම්බන්ධව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, පුස්කොළ පොත් සංරක්‍ෂණය කඩිනමින් සහ නිසි ප්‍රමිතියකින් සිදු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත උපදෙස් ලබා දී තිබේ.

දීර්ඝ කාලයක සිට නිසි පරිහරණයක් සහ ආරක්‍ෂක ක‍්‍රමවේදවලින් බැහැරව සිදු කළ ගබඩා කිරීම් නිසා මෙම ග‍්‍රන්ථවලින් වැඩි ප‍්‍රමාණයක් මේ වන විට විනාශයට පත් වෙමින් පවතී. එබැවින් ලංකාව පුරා විහාරස්ථානවල සහ පුද්ගලික එකතු ලෙස පවතින පුස්කොළ ග‍්‍රන්ථ නිසි පරිදි හඳුනාගෙන ආරක්‍ෂා කිරීමේ අරමුණින් මෙම සංරක්ෂණ වැඩසටහන ආරම්භ කර තිබේ.

 

Read more

Local News