ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයකට ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ඉන්දියාව බලා පිටත්වෙයි

15

ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් (MILAN) අභ්‍යාසයට සහභාගීවිම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් ඊයේ (‍02) ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

නෞකාවන්ගේ සමස්ථ කාර්යය මණ්ඩලය 284 දෙනෙකුගෙන් සමන්විත වන අතර, එයට නිලධාරීන් 27 දෙනෙකු සහ පුහුණු වන මධ්‍ය නිලධාරීන් 06 දෙනෙකු ද ඇතුළත් වේ.

මෙම ඒකාබද්ධ මිලාන් නාවික පුහුණු අභ්‍යාසය ‘සාගරික මිත්‍රත්වය’ යන තේමාව කර ගනිමින් මාර්තු මස 06 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. එහිදි, මුහුදු සීමාව තුළ අන්තර් ක්‍රියාකාරිත්වයන්, සමුද්‍රිය යහපැවැත්ම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම සහ නීතිවිරෝධී මුහුදු ක්‍රියාකාරකම් වලට එරෙහිව කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. එමගින් ඉන්දියන් සාගරයට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීමට මහත් පිටිවහලක් සැළසෙනු ඇත.

ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල නෞකාවන් ද්විත්වය මාර්තු මස 13 වන දින සිය කර්තව්‍යයන් සාර්ථක ලෙස නිමා කරමින් විශාකාපට්නම් වරායෙන් පිටත් වී නැවත ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත.