නැගෙනහිර ගවුටා ප්‍රදේශයේ වාතාවරණය “අති දරුණු” අතට හැරේ – ගැටුම්වලින් බේරීම පිණිස වැසියන් පලා යයි

Share

සිරියානු කැරලිකරුවන් යටතේ පවතින නැගෙනහිර ගවුටා ප්‍රදේශයේ වාතාවරණය “අති දරුණු”  වීම නිසා ගැටුම්වලින් බේරීම පිණිස එහි වැසියන් පලා යමින් සිටින බව වාර්තා වේ.

සිරියානු හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල තවත් ශක්තිමත් කරමින් දමස්කස් අගනුවරට නැගෙනහිරින් පිහිටි ගවුටා නගරය නැවත ඔවුන් යටතට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවක් දකින්නට ලැබේ.

මෙම ප්‍රදේශයෙන් 25% ක් පමණ සිරියානු හමුදා පාලනයට ගෙන ඇති බව එක්සත් රාජධානියේ පිහිටුවා ඇති සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ කවුන්සිලය ප්‍රකාශ කරයි.

පෙබරවාරි 18 වැනි දින ආරම්භ වූ ගැටුම්වලින් මේ වන විට හයසියයකට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර ඉන් බහුතරයක් කුඩා ළමුන් බවත් විශ්වාස කෙරේ.

“සිවිල් වැසියන්ට සාමූහික දඬුවම් පැමිණවීම කිසිසේත්ම පිළිගත නොහැකි,” බව මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ හතළිහකට ඩූමා නගරයට ඇතුළු වීම සඳහා සිරියානු බලධාරීන්ගෙන් අවසර ලබා ගත නොහැකි වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

Read more

Local News