කාන්තා අයිතිය වසරකට දවසයි

23

තමාට හිමි අයිතීන් රැකගැනීමටත් ඒවා භුක්ති විඳීමටත් කටයුතු කළ යුත්තේ තමන් විසින්ම ය. තමාට හිංසනයක් සිදුවන්නේ නම් ඊට එරෙහිව නැඟී සිටීම සංස්කෘතියට එරෙහිවීමක් හෝ තමා විසින් තම පවුල විනාශ කරගැනීමක් නොවේ.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ මානව හිමිකම් දැඩිව උල්ලංඝනය කිරීමකි. ඔවුන්ගේ පෞද්ගලික හෝ පොදු ජන ජීවිතයේ දී ශාරීරික, ලිංගික හෝ මානසික හිංසා කිරීම, ප්‍රචණ්ඩ හිංසනය, බලහත්කාරකම් කිරීම හෝ ඔවුන්ගේ නිදහස අහිමි කිරීම මීට ඇතුළත් වේ. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය එක රටකට හෝ ප්‍රදේශයකට සීමා වූවක් නොවේ. බොහෝ විට විවිධ සමාජ, දේශපාලනික, ආර්ථික, සංස්කෘතික, ආගමික, ගෝත්‍රික හා වාර්ගික චර්යාවන් හේතුවෙන් කාන්තාවෝ මෙවැනි හිංසනයන්ට භාජනය වෙති.

ලෝක යුද්ධ නිමාවීමෙන් අනතුරුව ලොව පුරා විවිධ දෘෂ්ටිකෝණවලින් පුද්ගල අයිතිවාසිකම් කෙරේ අවධානය යොමු වෙමින් මතවාද බිහි වූ අතර, කාන්තා අයිතීන් කෙරේ මූලික අවධානය යොමු කරමින් කාන්තාවාදය නිර්මාණය වී ක්‍රමයෙන් විකාශනය වී ඇත.

මුල්කාලීනව කාන්තාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගැනීම කෙරේ ක්‍රියාත්මක වූ කාන්තාවාදී මතය, මෑතභාගයේ දී කාන්තාවන් පීඩාවන්ගෙන් මුදා ගැනීමටත්, කාන්තාවන්ගේ අභිමානය, තෝරාගැනීමේ අයිතිය, සම සාධාරණත්වය තහවුරු කිරීම ආදී අරමුණු මුදුන්පත් කර ගැනීමටත් ක්‍රියාත්මක වේ.

කාන්තා අයිතීන් කෙරේ මේ අයුරින් කෙතරම් අවධානය යොමු වුවද, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සාධක මත පිරිමි පක්ෂයට සාපේක්ෂව කාන්තාවගේ සහභාගීත්වය, නායකත්වය දැරීම, අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා හඬ නැඟීම අවම මට්ටමක පවතී.

සමාජය තුළ තහවුරු වී පවතින ස්ත්‍රී, පුරුෂ සමාජභාවීය ආකෘතීන් මත හුදෙක් සිය පවුල කෙරේ ඇප කැප වන, දරුවන්ගේ ස්වාමියාගේ අවශ්‍යතා ඉටු කිරීම සිය මූලික ආධ්‍යාංශය කොටගත් චරිතයක් ලෙසින් ගොඩනැගී තිබේ. කොතෙකුත් ආරක්ෂණ ක්‍රමවේද, උපදේශන, නෛතික රැකවරණය පුළුල් වුවද තවදුරටත් සෑම සමාජ ස්ථරයකම විවිධ අවස්ථාවල දී කායික මෙන්ම මානසික හිංසනයන්ට කාන්තාවෝ ගොදුරු බවට පත් වෙති. එකී හිංසනයන්හි ස්වභාවය, බලපෑම විවිධාකාර විය හැකි අතර කාන්තාවන් එකී හිංසනයන් කෙරේ දක්වන ප්‍රතිවිරුද්ධතාවය හෝ ප්‍රතිචාරය ද එකිනෙකට වෙනස් විය හැකිය.