දුම්රිය හරස් මාර්ගයන්හි සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් නව වැඩසටහනක් – සිසිර කෝදාගොඩ මහතා

Share

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය, සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ දුම්රිය හරස් මාර්ගයන් හි සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ඒ අනුව මෙම නව වැඩසටහනේ පළමු අදියරේ දී කැලණිවැල දුම්රිය මාර්ගයේ සියලු ම දුම්රිය හරස් මාර්ගයන්ට ප්‍රථම ව අඩි 30න් 30ට දුම්රිය හරස් මාර්ගය ඉදිරියෙන් ඇති බැවින් වේගය සීමා කරන ලෙස දැනුම් දෙනු ලබන ලුමිනස් බෝඩ් 03බැගින් ඉදිකිරීම සිදු කෙරේ.
එමෙන් ම දුම්රිය මැදරි තුළ මෙන් ම දුම්රිය ස්ථානවලද මහජනතාව දැනුම්වත් කිරීම සඳහා අවශ්‍ය දැනුම්වත් කිරීමේ බෝඩ් සවිකිරීම ද සිදු කෙරේ.
ඒ අනුව අද (12) මෙම බෝඩ් සවිකිරීමේ කටයුත්ත මහරගම, නාවින්න දුම්රිය හරස් මාර්ගයේ දී සිදු කෙරේ.
එමෙන් ම ලබන මාසයේ දී කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ මෙන් ම කොළඹ – මුහුදුබඩ දුම්රිය මාර්ගයන් හි ද මෙම කටයුත්ත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා පෙන්වා දුනි.
2017 වසරේ දී දුම්රිය හරස් මාර්ගයන් හි දුම්රිය අනතුරු 261ක් සිදු ව ඇති අතර ඉන් පුද්ගලයින් 61දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Read more

Local News