ගුණාත්මක දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට මහජන නියෝජිතයින් තම හැසිරීමෙන්, ක‍්‍රියාකාරීත්වය තුළින් මහජනයාට ආදර්ශයක් සැපයිය යුතුයි – ජනපති

Share

ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් සමග ඊයේ (18) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී සඳහන් කළේ,

ගුණාත්මක සහ වටිනාකමින් ඉහළ දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට මහජන නියෝජිතයින් තම හැසිරීමෙන් සහ ක‍්‍රියාකාරීත්වය තුළින් මහජනයාට ආදර්ශයක් සැපයිය යුතු බවත්, නියමිත කාලසටහනකට අනුව යමින් මහජන ගැටලු විසඳීම සඳහා තම උපරිම දායකත්වය ලබාදිය යුතු බවත් එහිදී මහජනයා සමග ගැටුම් ඇති නොකර ප‍්‍රතිපත්තිගරුකව, සාවධානව හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිතුමා කියා සිටියේය.

මහජන හඬට සවන් දී පොදු සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීමේ දී දූෂණයෙන් සහ වංචාවෙන් තොරව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලබාගත් ප‍්‍රතිඵල පිළිබඳ පසුබට නොවී අඩුපාඩු සකස්කර ගනිමින්, නිවැරදිව හා ශක්තිමත්ව දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට මෙම නියෝජිතයින් පක්ෂයට ශක්තියක් සපයන බව තම විශ්වාසය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

පළාත් පාලන සභා රැස්වීම් සඳහා හැකි සෑම විටම සහභාගී වී ගුණාත්මක හරයන් සහිත තම අදහස් හා යෝජනා තුළින් මහජන සේවය වෙනුවෙන් කැපවෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිතුමා, පුවත්පත් හා පොතපත ඇසුරු කරමින් නිතර නව දැනුම ලබා ගැනීමට උනන්දු වන්නැයි ද මහජන නියෝජිතයින් දැනුවත් කළ අතර, එසේ කළහොත් යහපත් දේශපාලන අනාගතයක් උදාකරගත හැකි බව ද කියා සිටියේය.

ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදී ඒවායේ ප‍්‍රගතිය පිළිබඳ නිසි ඇගයීමෙන් අනතුරුව අවශ්‍ය නම් තවත් මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීමට තමා කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සහතික විය.

 

Read more

Local News