ජාඇල – ඒකල පිහිටි ඇඟළුම් කම්හලේ අැති වු ගෑස් කාන්දුවට හේතු සොයා කඩිනමින් විසඳුම් – ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා

Share

ජාඇල – ඒකල පිහිටි ඇඟළුම් කම්හලක පසුගිය 19 වැනිදා ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් පිරිසක් රොගාතුර වීම පිළිබඳව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ අවධානය යොමු වී ඇත.

එම කර්මාන්ත ශාලාවේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම කර්මාන්ත ශාලාව මේ වන විට අමාත්‍යවරයාගේ උපදෙස් මත කම්කරු දෙපාර්තමේන්තුවේ කර්මාන්තශාලා ඉංජිනේරු පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර වැඩ බිමේ කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. නැවත හෙට (22) සවස මෙම කර්මාන්ත ශාලාවේ සේවකයන්ට එහි සේවය කිරීමට ඇති සෞඛ්‍යමය හැකියාව සම්බන්ධව සොයා බැලීමට කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් එහි යාමට නියමිතය.

කර්මාන්ත ශාලාවේ රාජකාරි යථා තත්ත්වයට පත් කිරීමේ කෙටි කාලීන පියවර ලෙස කර්මාන්ත ශාලාවේ ගෑස් නල අළුත් වැඩියා කිරීමටත් කර්මාන්ත ශාලාවේ බිම සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමටත් වායු සමිකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කළද අවම වශයෙන් සතියට දින දෙකක්වත් කර්මාන්තශාලාවේ පිහිටා ඇති ගොඩනැගිලිවල ජනෙල් හැර තැබීමටත්, දීර්ඝ කාලීන පියවර ලෙස, මධ්‍යම පරිසර අධිකාරිය විසින් පිළිගත් විද්‍යාගාරයක් මගින් මාස හයකට වරක් කර්මාන්ත ශාලාවේ පාරිසරික තත්ත්වය පරීක්ෂා කොට කම්කරු දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දෙන ලෙසත් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට කම්කරු දෙපාර්තමෙන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.

ඊට අමතරව ජාඇල කම්කරු කාර්යාලයේ සහය ද ඇතිව අවම වශයෙන් වසරකට වරක්වත් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සහ සේවක සේවිකාවන්ට වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳව අවබෝධයක් හා පුහුණුවක් ලබා දීමටත් කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව කම්කරු අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News