පක්ෂ වශයෙන් බෙදී මැතිවරණවලට ඉදිරිපත් වුව ද, ජයග‍්‍රහණයෙන් පසුව මහජන සේවාව ඉටුකළ යුත්තේ දේශපාලන පක්ෂ බේදයෙන් තොරවයි – ජනපති

17

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතනවලට තේරි පත්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට ඊයේ (26) පෙරවරුවේ පොළොන්නරුව රාජකීය ප‍්‍රාථමික විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී එක්වෙමින් අවධාරණය කළේ,

පක්ෂ වශයෙන් බෙදී මැතිවරණවලට ඉදිරිපත් වුව ද, ජයග‍්‍රහණයෙන් පසුව මහජන සේවාව ඉටුකළ යුත්තේ දේශපාලන පක්ෂ බේදයෙන් තොරව බවයි.

කවුරුන් කෙසේ ජයග‍්‍රහණ පිළිබඳ උද්දාම වී කටයුතු කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කළ කිසිදු දේශපාලන පක්ෂයකට, භාවිතා වූ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 40 කට වැඩි ප‍්‍රතිශතයක් ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැති බව ජනපති පැවසීය.

මෙම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් වූවා නම් කිසිදු දේශපාලන පක්ෂයකට ආණ්ඩුවක් පිහිටුවීමේ බලය හිමිකර ගැනීමට අවකාශ නොමැති බව වාර්තා මගින් පෙන්වා දෙන බව පැවසූ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සංසන්දනය කිරීමේදී ද වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවිය නොහැකි බව ද කියා සිටියේය.

එබැවින් මෙම මැතිවරණ ප‍්‍රතිඵලය පිළිබඳ කිසිවෙකු නොසන්සුන් විය යුතු හෝ උද්දාමයට පත්විය යුතු නැති අතර, මෙම ප‍්‍රතිඵලය පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන ගොස් අනාගතයේදී පැහැදිලි ලෙසම ජයග‍්‍රහණය කරා යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

මේ අතර යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා විනයෙන් සහ හික්මීමෙන් යුතුව නව මන්තී‍්‍රවරු කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ජනාධිපතිතුමා තම වගකීම් ජනතාව වෙනුවෙන් නිසි ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවයත්, එහිදී මතින් නිදහස් විනයගරුක පිරිසක් ලෙස කටයුතු කිරීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

තමන්කඩුව නගර සභාව, තමන්කඩුව ප‍්‍රාදේශීය සභාව, දිඹුලාගල ප‍්‍රාදේශීය සභාව, වැලිකන්ද ප‍්‍රාදේශීය සභාව, හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාව, ලංකාපුර ප‍්‍රාදේශීය සභාව, මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාව සහ ඇළහැර ප‍්‍රාදේශීය සභාව සඳහා තේරි පත්වූ නියෝජිතයෝ මෙහිදී දිවුරුම් දුන්හ.