මුතුරාජවෙල තෙත් බිම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට යෝජනාවක්

Share

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසුවේ, මුතුරාජවෙල තෙත් බිම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට අවශ්‍ය සාකච්ඡා සිදු කරමින් පවතින බවත් එම යෝජනාව ඉදිරියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීමට කටයුතු කරන බවයි.
මුතුරාජවෙල තෙත් බිම ආරක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමේ දී 1988 අංක 56 දරණ ජාතික පරිසර (සංශෝධන) පනත යටතේ මධ්‍යම පරිසර අධිකාරිය සතු නෛතික බලතල ප්‍රමාණවත් නොවීම හා ඒ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින නෛතික රාමුව ප්‍රමාණවත් වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුනි.
මෙම බිමෙහි මායිම් විවෘත කොට මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා එක්ව මැනුම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කටාන, මීගමුව, ගම්පහ, ජා-ඇල සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම්වරු හරහා පදිංචිකරුවන් ඉවත් කොට එම බිම් නැවත රජය වෙත පවරාගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කීය.
මෙම කටයුතු අවසන් වීමෙන් අනතුරුව මුතුරාජවෙල තෙත් බිම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමට අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මුතුරාජවෙල තෙත් බිම හෙක්ටයාර් 3000 කට අධික භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි මෙම කලාපයේ සත්ව විශේෂ 449 ක් වෙසෙන අතර එයින් 26 ක් මෙරටට ආවේණික සත්ත්ව විශේෂ වෙති. ඊට අමතර ව එම භූමිය ආශ්‍රිතව ශාඛ විශේෂ ගණනාවක් ද සොයාගෙන ඇත.

Read more

Local News