ශ්‍රි ලංකාව හා බංගලිදේශය අතර වෙළෙඳ සහයෝගීතාවයේ විධිමත් වර්ධනයක්

Share

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති බංගලිදේශ ජනරජයේ 47 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පැවසුවේ,

ගෙවී ගිය වසර කිහිපය තුළ ශ්‍රි ලංකාව හා බංගලිදේශය අතර වෙළෙඳ සහයෝගීතාවය විධිමත්ව වර්ධනය වූ බවත්, ඒ යටතේ දෙරටේ ආරක්‍ෂක, අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික, ආයෝජන හා වෙළෙඳ ක්‍ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩි වී ඇති බවත්, මේ හේතුවෙන් පස් අවුරුදු කාලය තුළ දෙරටේ වෙළෙඳ ගණුදෙනු සියයට 55% කින් වර්ධනය වී තිබෙන බවයි.

ශ්‍රි ලංකාව හා බංගලිදේශය අතර දිගුකාලීන මිත්‍රශීලි සම්බන්ධතාව, සංස්කෘතික, ආගමික සහ මිනිසුන්, මිනිසුන් අතර සබඳතා ලෙස විහිදී පැතිරී යනවා. එම නිසා අප දෙරටේ සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ආදී ක්‍ෂේත්‍ර පැහැදිලිව අනාවරණය කරනවා. එම නිසා අපේ පොදු සංස්කෘතික ආකල්ප හා ඵෙතිහාසික සබඳතා, අපගේ නූතන අන්තර් රාජ්‍ය සම්බන්ධතා සඳහා ඉතා වැදගත් වෙනවා. අප දෙරට අතර වෙළෙඳ ආර්ථික සබඳතා ඉතාමත් සවිමත් මට්ටමින් වර්ධනය වෙලා තියෙනවා. ඒ අනුව 2013 වසරේදී අප දෙරටේ වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 102 ක් පමණ වුණා. එය ගෙවී ගිය වසර 05 තුළ සවිමත්ව වර්ධනය වී 2017 වන විට අප දෙරටේ වෙළෙඳ ගණුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් 166 දක්වා සියයට 55% කින් පමණ වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය 2016 වසර සමඟ සංසන්දනය කරන විට 2017 දී, දෙරටේ වෙළෙද ගණුදෙනු වටිනාකම සියයට 17% කින් වර්ධනය වෙලා තියෙනවා.

ඒ වගේම අපේ දෙරටටම පොදු අරමුණු තිබෙනවා. ඒ සඳහා අපි අපගේ ජනතාවගේ යහපත උදෙසා එකට එක්වී ඉතා සමීපව කටයුතු කරනවා. අපේ රටේ ආපදාවකට හෝ ස්වාභාවික ව්‍යවසනයකට පත් වූ සෑම අවස්ථාවකදීම බංගලිදේශය අපට උදවු කරමින් සහයෝගය දක්වලා තියෙනවා. ඒ සඳහා අපේ රජයේත්, ශ්‍රි ලාංකීය ජනතාවගේත් ප්‍රසාදය හා ස්තූතිය පුද කරන්න කැමතියි.

අප දෙරටේම සහයෝගීතාවය නිසාම බංගලිදේශයේ ආයෝජකයින්ට විශාල ආයෝජන අවස්ථා සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන ලෙස ආරධනා කරනවා.

ශ්‍රි ලංකාවේ කොළඹ සහ හම්බන්තොට වරාය, ශ්‍රි ලංකා ආර්ථිකයට ඉතා වැදගත් සේම, බංගලිදේශයේ චිතගොන් වරාය එරටේ ආර්ථිකයට ඉතා වැදගත් වෙනවා. මේ අනුව කොළඹ, හම්බන්තොට හා චිතගොන් වරායන් මඟින් දෙරටේ නාවික හා සංචාරක ක්‍ෂේත්‍රයට සුවිශේෂී පහසුකම් ලබා දී තිබෙනවා.

එම නිසා මෙම අවස්ථාවන්ගෙන් දෙරටටම මිත්‍රශීලි ලෙස නව ආයෝජන අවස්ථාවන් ගැන හොඳින් කල්පනා කළ යුතු වෙනවා. මේ අනුව අප දෙරටේ පවත්නා ශක්තිමත් මිත්‍රශීලි සම්බන්ධතාව තව තවත් සවිමත් කරමින් ඉදිරියට ගෙන යාම තුළින් අප දෙරට තුළ ව්‍යවසායකයින්ට ඉතා හොඳ අවස්ථාවන් උදා කර දීමට හැකි වෙනවා යැයි පැවසීය.

Read more

Local News